මේ නව වසරේ අපි ආලෝකයෙන් ආලෝකයට යමු

ban

එක් වර්ෂයක් අවසන් වී තවත් අලුත් වර්ෂයක් උදා වී ඇත. ඒ නැවුම් වර්ෂය පිළිගන්නට මිනිසුන් වන අප පමණක් නොව මුළු මහත් පරිසරයම සූදානම් වී ඇත. ගහකොළ අලුතින් අතු ඉති ලියලා මල් පිපී නැවුම් වසරට පළතුරු ආදී ඵල ලබා දෙන්නට සූදානමින් සිටිති. නිල්වන් කෙත් යාය රන් අස්වනු ලබා දෙන්නට සූදානමින් බන්ඩි ගොයම සුලඟේ නැලවෙති. විහගුන්, සිව්පාවුන් ආදී සතුන් අළුතින් කැඳළි තනා තම වර්ගයා බෝ කරන්නට සූදානම් වෙති. මේ අතර මිනිසුන් වන අපද නැවුම් වර්ෂයේ ආරම්භක දිනයේ පටන් නොයෙක් නොයෙක් දේ කරති. ඇතමෙක් තම නිවස අලුත් වැඩියා කරන අතර තවකෙක් අලුත් වර්ෂයට අලුත් ඇඳුම් පැළදුමෙන් සැරසී ගමන් බිමන් යති. අපේ ගෘහනියන් නොයෙක් ආකාරයේ රසවත් කෑම බීම සාදා අලුත් වර්ෂය පිළිගන්නට සූදානම් වෙති.

Read more…

ගහකොළ සතා සිව්පා ආදී මුළු මහත් පරිසරයමද මේ අයුරින් අලුත් වර්ෂය පිළිගන්නට, ගතකරන්නට සූදානම් වුවද බුදුන් වහන්සේගේ දේශනය අනුව උන්වහන්සේ සඳහන්කර ඇත්තේ මනං උසසනනතථා මනුසසා” මනනසින් උසස්ම පුද්ගලයා මිනිසා බවයි. එසේ නම් උසස් මනසක් ඇති අප සතා සිව්පාවාට වඩා වෙනස් අයුරින් අලුත් වර්ෂය පිළිගැනීමට සූදානම් විය යුතුය.
”ආහාර නිද්‍රා භය මෛතුනං ච
සමාන මෙකඃ පසුභිඃ නරානාමි”

යන දේශනා පාඨයට අනුව ආහාර ගැනීම, නිදාගැනීම, බියට පත්වීම, මෛතුන සේවනය පමණක් යම් මිනිසෙකු කරන්නේ නම් ඔහු තිරිසනෙකුට සාමාන වේ යැයි දේශනා කොට ඇත. එසේනම් මේ සියල්ල පමණක් අලුත් වර්ෂය තුළ කිරීමට සූදානම් වන්නේ නම් ඒ තැනැත්තා මනසින් උසස් තැනැත්තෙකු නොව්.
එසේ නම් අප මනසින් උසස් මිනිසෙකු ලෙස අලුතින් වර්ෂය ගතකරන්නේ කෙසේ දැයි විමසා බලමු. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අප සමාජයේ ජීවත්වන පුද්ගලයින් හතරදෙනෙකු පිළිබඳව බුදුපියාණන් වහන්සේ මෙසේ දේශනා කොට ඇත.
“තමො තම පරායොතො – තමො ජොති පරායතො
ජොති තම පරායොතො -  ජොති ජොති පරායතො”

1 අදුරෙන් අදුරට යන පුද්ගලයා
2 අදුරෙන් ආලෝකයට යන පුද්ගලයා
3 ආලෝකයෙන් අදුරට යන පුද්ගලයා
4 ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා
මේ දේශනයට අනුව මෙම පුද්ලයන් සිව් දෙනාම වත්මන් සමාජයේද ජීවත් වෙති. එවුන් කවුරුන්දැයි අපි හඳුනා ගනිමු.
පළමු පුද්ගලයා වන තමො තම පරායන” අදුරෙන් අදුරට යන පුද්ගලයා හොඳ නරක, කුසල අකුසල මොනවාද යන්න නිවැරදිව හදුනා නොගනිති. දෙමාපිය ගුරුවර වැඩිහිටි ආදීන්ගේ අවවාද අනුශාසනා වලට ඇහුම් කන් නොදෙති. පාප මිත්‍රයෝම සේවනය කරති. ප්‍රාණගාතාදී  දස අකුසල කර්ම වලම යෙදෙමින් මෙලොව පරලොව දෙලොවම විනාශ කරගෙන අවසානයේ අපායගාමී පුද්ගලයෙක් බවට පත්වෙයි.
අපේ සමාජයේ අදවන විට වැඩිපුරම දක්නට ලැබෙන්නේ මෙවැනි  පුද්ගලයන්ය. ඔහු වර්ෂයක් උදාවෙන විට එය සැමරීමටද ප්‍රාණඝාත කරමින්, මත්පැන් පාැනය කරමින්, කාමයේ වරදවා හැසිරෙමින් ඒ හේතුවෙන්ම බොරුව, කේලම, හිස්වචන, පරුෂ වචන තෙපලමින් ඒ ප්‍රීතිය ඉතා පහත් ලෙස භුක්ති විදිති.
ඊළඟ පුද්ගලයා ”තමො ජොති පරායන” අදුරෙන් ආලෝකයට එන පුද්ගලයාය. ඔහු ජීවිතයේ යම් කාලයකදී නොයෙක් ආකාරයේ පාප ක්‍රියාවන්වල නිරත වෙමින් ගුණ ධර්ම වලින් ඈත් වී කටයුතු කළද පසු කලකදී කළණ මිතුරන් ඇසුරු කිරීමෙන්, බුදු බණ ඇසීමෙන්, වැඩිහිටි අවවාද අනුශාසනා ලැබීම් ආදී දේ තුළින් තම ජීවිතය හොඳින් සකස් කරගෙන වැරදි අඩුපාඩු හදාගෙන අදුරෙන් ආලෝකයට ගමන් කරයි. මෙවැනි පුද්ගලයෝද වත්මන් සමාජයේ සුලභය.
තුන්වන පුද්ගලයා ජොති තම පරායන” ආලෝකයෙන් අදුරට යන පුද්ගලයාය. මේ පුද්ගලයා කුඩා කළ මව් පිය ආභාෂය, වැඩිහිටි අවවාද අනුශාසනා පිළිපදිමින්, දහම් පාසල්, පාසල් අධ්‍යාපනය හොඳින් හදාරමින්, ඉතා යහපත් පුද්ගලයෙකු ලෙස ජීවත්වන අතර ඇතැම් විට තරුණ වයසේදී හෝ මැදිවියේදී පාප මිතුරන් සේවනය කිරීමෙන් මත්පැන් පානය, ස්ත්‍රී දූෂණය ආදී ක්‍රියාවල නිරතව සමාජයේ ඉතා පහත්  පුද්ගලයෙකු ලෙස ක්‍රියා කරයි. ඔහුගේ පරලොව ජීවිතයද කිසිසේත් සාර්ථක වන්නේ නැත. අදුරටම පත්ව අපායගාමී වෙයි.
සමාජයේ ජීවත් වන පුද්ගලයින් අතර ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ජොති ජොති පරායන ” ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයාය. මෙම පුද්ගලයා ඉතාම ළදරු වියේදීද මව්පියන්ට ඉතා සුවච කීකරුය. වැඩිහිටියන්ට, දෙමාපියන්ට ගරු කරති. වදිති පුදති. ගුරුවරුන්ට කීකරුව අධ්‍යාපනය ලබති. ඔහුට විශේෂයෙන් අවවාද, අනුශාසනා කිරීමට අවශ්‍ය නොවේ. ක්‍ෂණයකින් යථාවබෝධය ලබයි. මෙම පුද්ගලයා කුඩා කාලයේ පවත්වන මෙම ක්‍රියා කලාපය තරුණ, මධ්‍යම, මහළු අවධිය දක්වාම ගෙන යති. දන් සිල් භාවනාදී පිංකම්ද, සති, සමාධි, ප්‍රඥාද උපදවාගෙන ආලෝකයෙන් ආලෝකයටම යති. මෙබදු පුද්ගලයා කිසිදාක සතර අපායට නොවැටෙති. තිරිසන් ආත්මවල නූපදී. දිව්‍ය මානූෂීය සම්පත් පමණක් ලබති.
මෙම ලිපිය කියවන ඔබ දැන් මොහොතක් ඔබ ගැන සිතන්න. ඔබ අයත් වන්නේ මේ පුද්ගලයන් 4 දෙනාගෙන් කවර කොටසකටද? ඔබ අදුරෙන් ආලෝකයට යන පුද්ගලයෙකු නම් ඒ ආලෝකය දීප්තිමත් ආලෝකයක් කර ගැනීම සඳහා තවතවත් යහපත් දේවල්ම සිදු කොට ආලෝකයටම පියනගන්න. ඔබ ආලෝකයෙන් අදුරට යන පුද්ගලයෙක් නම් පාප මිත්‍ර සේවනය, පාප ක්‍රියා අතහැර කල්‍යාන මිත්‍ර ආශ්‍රය ලබා ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයෙක් වන්න. අලුත් වර්ෂයක් උදාවූ මේ මොහොතේ ඒ පිළිබඳ ප්‍රීතියට පත්ව එතැනින් නතර නොවී ඔබේ ආලෝකමත් ජීවිතය නිවනින් ආලෝකමත් කරගැනීම සඳහා ක්ලේෂාන්ධකාරය දුරු කිරීමට උත්සහා ගන්න.
මේ ආකාරයට ඔබට අලුත් වර්ෂය තුළ වෙනස් වීමට වැඩි වැඩියෙන් කුසල් දහම්වල නිරත වීමට හැකිනම් ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මනසින් උසස් වූ ශ්‍රෙු්ෂ්ඨ මිනිසෙකුම වන්නේය. එසේ නොමැතිව කාබී ප්‍රීති වී තම වර්ගයා බෝ කිරීම සඳහාම පමණක් අලුත් වර්ෂය ගත කරන්නේ නම් මුලින් සඳහන් කළ ගාථා පාඨයට අනුව ඔබ සිව්පා සතෙකුට සමාන වන්නේය. එසේ නොවීමට මේ නැවුම් වර්ෂය තුළ අදිටන් කරගන්න.

මිහිපුර ධම්මප්‍රදීපා භික්‍ෂුණිය

අලුත් අවුරුද්දම සුභ වෙන්න නොවරදින මඟ මෙන්න …..!

New Year 20122012 ජනවාරි පළමුවනදාට වසරක් ගෙවී නව වසරක් උදාවනු ඇත. එහිදී නව සිතුම් පැතුම් හා නව ක්‍රියාකලාප ඔස්සේ වැඩ කිරීමට නොයෙන් දෙනා සිතා සිටිති. 2011 වර්ෂය තුළ සිදු වූ වැරදි අඩුපාඩු සකසාගෙන තම අරමුණූ කරා යන්නට රටවැසියාට හැකියාවක් ඇත්තේ උත්සාහය තුළිනි. අද අප අතර ක්‍රමක්‍රමයෙන් නැති වී යන උට්ඨාන වීය්‍ර්‍ය අපි නැවත දියුණු තියුණු කරගෙන උදාවෙන මෙම නව වසර තුළ සියළු අභියෝග ජයගන්නට සිතා ගැනීම ඉතා වැදගත් වේ. Read more…

උට්ඨාන වීය්‍ර්‍ය ඕනෑම පුදුගලයෙක් තුළ තිබිය යුතු දියුණු වීමේ ලක්‍ෂණයකි. එය ඇත්නම් කළ නොහැකි දෙයක් නැති තරම්ය. ගොවිතැන, වෙළදාම, ගවපාලනය, දුනු ශිල්පය, රාජ්‍ය සේවාව ආදියට දක්‍ෂ වීම ඒ කෙරෙහි අනලස් වීම, උපායෙන් හා විමසීමෙන් යුක්ත වීම සුදුසු කළ ඒ කාය්‍ර්‍යයන් සම්බන්ධව කටයුතු කිරීම උට්ඨානවීය්‍ර්‍ය නම් වේ. රටක නායකයෙක් වේවා, ගොවියෙක් වේවා, භික්‍ෂුවක් වේවා, වෙළෙන්දෙක්     වේවා, ගෘහාධිපතියෙක් වේවා, ඕනෑම තරාතිරකම වේවා උට්ඨාන  වීය්‍ර්‍ය පැවතිය යුතුය. නැත්නම් රටක, සමාජයක, ගමක, නිවසක දියුණුවක්  අභිවෘද්ධියක් ළඟා කරගත නොහැකිය.
අද ලෝකය ගත්තත් එම නාටකයාගේ උත්සහය නිසා දියුණු වූ රටවල් බොහෝ ගණනාවක් ඇත. ජපානය,   සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය වැනි රටවල් ඒ අතර සුව්ශේෂි වේ. මී මැස්සන් සේ, වේයන් සේ උත්සහය ඇතිකර ගැනීම දියුණු වීමේ මාර්ගයයි. කම්මැලිකම, අලසකම ජීවිතයක් තුළ තිබුනොත් සැමදා පඅිරිහීමට ලක් වේ. එවැනි අලස අය තුළ නිතරම පවතින ගති ලක්‍ෂණ 06ක් සිගාලෝවාද සූත්‍රය තුළ පෙන්වා දී ඇත. එනම්,
01  දැන්ඉතා සීතලය
02. දැන් ඉතා උෂ්ණය
03. දැන්  ඉතා සවසය
04. දැන්  ඉතා උදේය
06. දැන් බඩ පිරිලාය
05. දැන් බඩගිනිය
යනාදි වශයෙනි.
මෙවැනි ගති ලක්‍ෂණ තිබුනොත් කවදාවත් දියුණු වීමට පුළුවන්කමක් නැත. එනිසා එවැනි අලසකම් නැති කරගත යුතුය. අපේ රටේ ඉතිහාසය ගත්කළ එදා පැරැන්නන් තුළ උත්සාහය උපරිම වශයෙන් තිබූ බව ඔවුන් කළ කී දේ තුළින් වටහාගත හැකිය. ආගමික වශයෙන් ගත්තත්, ආර්ර්‍ථක වශයෙන් ගත්තත්, දේශපාලනික සංස්කෘතික යන මොන අංශයෙන් ගත්තත් එහි දියුණුව අද පවා දැකගත හැකිය. කෘෂිකර්මාන්තයේ දී දෑත දෙපය මහන්සි වී ලබාගත් අස්වැන්න වෙනත් රටවලටද යැවූ බව සඳහන් වේ. අක්කර දහස් ගණන් බීජ වැපිරීම සඳහා විශාල වැව්, ඇළ, වේලි හා ජලනල පද්ධති නිර්මාණය  කිරීමෙන් කෘෂි කර්මාන්තය දියුණු  වී රටේ  ආර්ර්‍ථක ස්වංපෝෂිත වූ එවුනට ආගමික සහනශීලීතාවය ඇතිකර ගැනීම සඳහා විශාල වෙහෙර  විහාර, ස්ථූප නිර්මාණය වූයේද, උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙනි. උදයට උදැල්ල රැගෙන කුඹුරට යන ගොවියා   යළිත් නිවසට පැමිණෙන්නේ සවසටය. ඒ  තරමට පැරැන්නන් තුළ  කම්මැලිකමක් නොතිබුණි. වී ප්‍රධාන භෝගය  වූවත් ඊට අමතරව විවේක වෙලාවට   අල,  බතල, මඤ්ඤොක්කා වැවීමටද, එයින් ප්‍රයෝජනය ගැනීමටද පැරැන්නන් උත්සුක විය. අද කාලයේ තරුණ පිරිසට එය ආදර්ශයට ගෙන දියුණු  විය  හැකිය.
බුද්ධ චරිතය තුළින්ද අපට උට්ඨාන වීය්‍ර්‍යයේ ඇති අගය වටිනාකම මනාව පිළිපිඹු වේ. උන්වහන්සේ දස පාරමිතා අතර  වීය්‍ර්‍ය පාරමිතාවක් හැටියට සසරේ පුරන ලද්දේ මෙම උත්සාහයයි. ඒ අනුව උන්වහන්සේ නොයෙක් ආත්මවල ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව අඹුදරුවන් පවා දන් දුන් සේක. උන්වහන්සේට දීපංකර පාදමූලයෙහි දී නිවන් දැකීමේ වරප්‍රසාදය  තිබුණත් එසේ නොකොට ප්‍රාර්ථනා කළේ,
“බුද්ධෝ හං බෝධ ඉස්සාමි
මුත්තෝ හං මෝචයේ පරේ
තිණ්නෝ හං සාර ඉස්සාමි
සංසා රෝග මහබ්බයා”
තමන් සසරින් මිදී අන්‍යයාද මුදවීමේ හා සසරින් එතෙර වී අන්‍යයාද සසරින් එතෙර කරවීමේ පරම  පවිත්‍ර චේතනාව උට්ඨාන  වීය්‍ර්‍යයත් සමග උන්වහන්සේ තුළ තිබුණි. සිදුහත් බෝසත් සමය තුළ සියලු සැප හැරපියා උට්ඨානයෙන් බණ  භාවනා කර ලද ජයග්‍රහනය ලෙස නිවන් සැපත හැඳින්විය හැකිය. එම උතුම් චරිතය තුළින් ඕනෑම කෙනෙකුට ආදර්ශයක් ගෙන අබියෝග ජයගැනීම සඳහා එය පිටුවහලක් කරගත හැකිය.
චුල්ල සෙට්ටි ජාතකය ආදර්ශයට ගත්තත් කෙනෙකුට දියුණුවීමට බැරිකමක් නැත. එහි සඳහන් වන්නේ මී කුණක් උපයෝගි කරගෙන තරුණයෙක් ක්‍රමක්‍රමයෙන් දියුණු වූ  ආකාරයයි. බුදු දහම තුළ නිතරම පෙන්වාදෙන්නේ නිවැරදි කායකර්මාදිය තුළින් මෙලොව සැප ලබා ගන්නා ආකාරයයි. එය ඉද්දිපාදයක් හැටියට සම්මා වායාම” යනුවෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය  තුළ  වැඩිය යුතු  බව පෙන්වා දී ඇත. වර්තමානයට අවශ්‍යම දෙයක් හැටියට උත්සහය නොහොත්  වීය්‍ර්‍ය  පෙන්වා  දිය හැකි අතර එය  පළමුවෙන්ම මනසේ ධෛය්‍ර්‍යය වශයෙන් ඇතිකරගත යුතු අතර පසුව එය ක්‍රියාවට නැංවීමේදී නොපසුබස්නා  වීය්‍ර්‍යය ඇතිකරගත යුතුය. එය කුඩා  දරුවාගේ පටන් වැඩිමහල්ලා   දක්වා රටක, සමාජයක, ගෙදරක තිබිය යුතු ලක්‍ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය.
ලෞකික මෙන්ම ලෝකෝත්තර සැපත පිණිස කරන කුසල් කර්මාදිය සඳහාද උත්සහය අවශ්‍යය. සිතෙහි පවතින ලෝභ, දේවේශ, මෝහ වැනි අකුසල, සිතුවිලි යටපත් කරගෙන කුසල් කිරීමටත් එවැනි අකුසල් සහමුලින් උපුටා දමා නිවන් සැපත ලඟාකර ගැනීමටත් උත්සාහය අවශ්‍යය. ඒ නිසාම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා   තුළ පැවති උන්වහන්සේලා විසින් අගය කොට වදාළ ශේෂ්ඨ ගුණ ධර්මයක් වන උට්ඨාන  වීය්‍ර්‍ය  රටක ජීවත්වන සෑම කෙනෙකු තුළම පැවතිය යුත්තකි. කටයුතු සාර්ථක කරගැනීමට අනාගතය සැපවත් කරගැනීමට කැමති සැම කෙනෙක්ම උත්සාහය ඇති කර ගත යුතුය. ආගම්,ජාති,  කුල මල තුළ සිරනොවී එකම රටක පුරවැසියන් හැටියට අපි සෑම දෙනෙක්ම එකතු වී සමගියෙන් සහයෝගයෙන් රට දියුණු කිරීමටත අපගේ දියුණුව ඇති කර ගැනීමටත් උත්සහයෙන් සියළු කටයුතු කරගෙන යාමට උදාවන අළුත් අවුරුද්ද තුළ ප්‍රාර්ථනාවක් වශයෙන් තබාගනිමු.

කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද  පිරිවෙනේ ආචාර්යය
ගලේවෙල පුවක්පිටිය ශ්‍රී බෝධිරාජාරාමයේ ගලගෙදර රතනවංශ හිමි

සම්බුද්ධ ජයන්තියෙන් ප්‍රයෝජන නොගත් බෞද්ධයෝ

මේ අප ගෙවා දමමින් සිටින්නේ බුදුන්වහන්සේගේ උප්පත්තිය සිදුවී වසර 2600ක් සපිරුණු සdammachakkaම්බුද්ධත්ව ජයන්ති වසරයි. සුනාමියෙන් විනාශ වූ එයින් පාඩම් ලබා නොගත්තා සේම, යුද්ධයෙන් විනාශ වූ රට ත්‍රස්ත නායකයාගේ මළ සිරුරු ප්‍රදර්ශනය කරමින් රතිඤ්ඤා පත්තු කර කැවුම් කිරිබත් කෑවා සේම, හෙට රටට ඔඹින ජාතික ආගමික හෝ සංස්කෘතිමය කිසිම පිබිදීමක් 2600 සම්බුද්ධත්ව ජයන්ති වසරෙන් ලබා ගත්තාද? නැත.

Read more…

ඩිජිටල් තාක්ෂණයට පින් සිදුවන්නට සෑම විහාරස්ථානයක් අසලම තාවකාලික තොරණ ඉදිවිය. රටක් වටිනා බුද්ධ පින්තූර ඒ සෑම තොරණකම අව්වට වැස්සට වේලෙමින් තෙමෙමින් දිරාපත් වෙයි. හුදු අලංකාරයන්ගෙන් බාහිර පිට පොත්ත පමණක් වර්ණවත් කරගත් අපේ රටේ බෞද්ධයෝ රැල්ලට ගොස් සීල ව්‍යාපාර හා භාවනා පන්තිවලට සහභාගී වූවෝය. එහෙත් ජන සමාජය ගිලගත් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය හා පළිගැනීම මූලික කොටගත් තරගකාරිත්වය බිඳකුදු අවම කර ගැනීමට හැකි වූයේ නැත.
දාගැබ්, බුද්ධ ප්‍රතිමා,බෝධි ප්‍රාකාර, සංඝාවාස ඉතා තරගකාරී ලෙස විහාරස්ථානවල ඉදි වූ නමුත් ඊට සාපේක්ෂව මානව සම්පතෙහි ගුණාත්මක වර්ධනයක් සිදුවූවාදැයි විමසා බැලීම වටී. ඇතැම් විහාරස්ථානවල අපේ උගත් සිල්වත් මහතෙරවරුන් වහන්සේලා තම දායක දායිකා පිරිස් කරුණාවෙන් මෛත්‍රීයෙන් ආගම දහමට සමීපකොට රැකගැනීමත් ඔවුන්ගේ දූ දරුවන් හට ධර්මදානය බෙදා දෙමින් සිරිත් විරිත් කියා දෙමින් කටයුතු කිරීම එදත් අදත් කවදත් සිදුවෙමින් පවතී. උන්වහන්සේලාගේ විහාරස්ථානය කේන්ද්‍රකොටගෙන සාම්ප්‍රදායික මෙන්ම නව ක්‍රම වේදයන් ද අනුගමනය කරමින් ආගමික ආකර්ෂණය පවත්වාගෙන යන්නේ ඉතා අසීරුතාවයෙනි. අලුත උපන් ළදරුවාගේ සිට මළගම දක්වා සියලුවැදගත් චාරිත්‍රයන් මැනවින් ඉටුකරලන්නේ කිසිදු මූල්‍යමය අගයක් තබා නොවේ. එහෙත් එම විහාරස්ථාන හා ස්වාමින්වහන්සේලා මෙම තරගකාරී ධාවනයට සංවර්ධනයේ මුවාවෙන් පරිවර්ථනයට වූයේද? නැත. යම් යම් දේශපාලන බලවතුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් කැපවී සිටින භික්ෂූන්වහන්සේලා විශේෂ වරප්‍රසාද ලබමින් සම්බුද්ධත්ව ජයන්තියේ ඵල ලබති. මාධ්‍ය නාලිකා ඔස්සේ වාණිජකරණය වූ ඇතැම් දේශකයන්වහන්සේලා බුදු බණ ලෙස මොන පද දේශනා කළත් රැල්ලේ දුවන සැදැහැවතුන් ඒ වටා රැස්වෙති.
මෙම වාණිජ උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය, ඇදහිලි වැඩ  සටහන් හැරුණුවිට සැබෑ බෞද්ධ පිබිදීමක් ඇතැයි කිව නොහැක.අදත් රජරට (අනුරාධපුර පොළොන්නරු වැනි ප්‍රදේශවල) බෞද්ධ භූමි කොතෙක් තිබුණත් දුෂ්කරතා ඇති ගම්මානවල හත් දවසේ පිංකමට බණ ටිකක් දේශනා කරන්නට ස්වාමින්වහන්සේලා වැඩම කරවා ගැනීමට එම ප්‍රදේශවල මිනිසුන් වාහන ගාස්තු වශයෙන් විශාල ධනයක් වැය කරති. සල්ලි නැත්නම් පින්කම් කළ නොහැක” යන  නිගමනය ඉතා කණගාටුදායක තත්වයකි.
ඇති ඇත්තවුන් විසින් ලෝකයා ඉදිරියේ කැපී පෙනෙන්නට නිර්මාණය කරගත් විවිධ චිත්තාකර්ෂණීය ක්‍රමවේදයන් නිසා මළගම, පිංකම,බණ, පිරිත ඇතුලු ආගමික සාරධර්ම සුරැකෙන ස්ථාන විකෘති වී ඇත. කිසිදු සරළ බවක් දක්නට නැති ආගමික චාරිත්‍රවිධි සියල්ල උත්සව මුහුණුවරක් ගැනීමෙන් අනුකරණවාදී මානසික විකෘතිභාවයක් බොහෝ බෞද්ධයන් තුළ හටගෙන ඇත. මේ තත්වයෙන් ඔවුන් මුදාගන්නේ කවුද? කවදාද? යන ප්‍රශ්න පිළිතුරු රහිතව සැඟවී තිබේ.
2600 සම්බුද්ධත්ව ජයන්ති වසර වන විටත් බෞද්ධ භික්ෂූන්වහන්සේ සාංඝික දේපළ පෞද්ගලික උරුමයන් කර ගැනීමේ වරදට උසාවියට වඩිති. ගිහි නීතිඥවරුන් ඉදිරියේ දිවුරුම් දෙති. මේ වනතුරුත් සංඝාධිකරණයක් ගැන ඒකමතික තීරනයකට එලඹ නැත.සංඝාධිකරණයක් ගැන ඒකමතික තීරණයකට එළඹ නැත. සංඝාධිකරණයක අවහ්‍යතාවය දැනෙන්නේ බෞද්ධ භික්ෂුවගේ ආත්ම ගෞරවය වෙනුවෙනි.
පන්සල කේන්ද්‍රකොටගෙන ගමේ ජනතාවගේ ආධ්‍යාත්මික ගුණ වගාවන් දියුණු කිරීමට පුළුල් වැඩසටහනක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූයේ නැත. ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධශාසන අමත්‍යාංශය, සංස්කෘතික දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන විශාල මුදල් වැය කිරීම්කොට සැලසුම් නිර්මාණය කලේය. ඒවා චක්‍රලේඛන මගින් ප්‍රාදේශිය ලේකම්වරු-බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජකවරු-ශාසනාරක්ෂක මණ්ඩල ලේකම් හිමිවරු වෙත සියලු විහාරස්ථානවලට යවා ඇතත් අවසන් සීමාවේ දී ඒවා බල රහිත වාර්ථාවලට පමණක් සීමා වූ ව්‍යාපෘති බවට පත් විය. අනෙක් කරුණ නම් එම චක්‍රලේඛනමගින් යෝජනා කර ඇත්තේ ද කවදත් අපේ ස්වාමින්වහන්සේලා විසින් විහාරස්ථාන කේන්ද්‍ර කොට සිදු කරගෙන යන ව්‍යාපෘති හා වැඩසටහන් වීමයි. උන්වහන්සේලා විසින් විහාරස්ථාන කේන්ද්‍ර කොට සිදුකරගෙන යන ව්‍යාපෘති හා වැඩසටහන් වීමයි.උන්වහන්සේලාට ඇති දැඩි අවිවේකී බව ඇතුලු විවිධ දුෂ්කරතා හේතුවෙන් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.
විහාරස්ථ කාර්ය සාධක සමිති, දායක සමිති හා දහම් පාසල් සංවර්ධන සමිති ගම්මාන තුළ ක්‍රියාත්මක වීමට වැඩ සටහනක් ප්‍රායෝගිකව දියත් වූවා නම් 2006 සම්බුද්ධත්ව ජයන්තිය භෞතික මවාපෑම්වලට පමණක් සීමා වන්නේ නැත.
බුදු කෙනෙකු ලෝකයේ උපදින්නේ මිනිසාගේ මනස නිවා සනසාලන්නටයි. රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙසුන්ගෙන් දැවී ඇති මිනිස් සිතට මෙත් මුදිතා ආදී මානසික සුවතාවයන් ලබා දී ලෝකය    තරගකාරිත්වයෙන් මුදාලන්නටය. එහෙත් අද උද්දේශික චෛත්‍යය හෙවත් බුද්ධ ප්‍රතිමාව සති පොළේ පදික වේදිකාවේ කඩදාසි එලා බිම තබා විකුණති. පාරිභෝගික චෛත්‍ය නම් වූ බෝධීන්වහන්සේ අභියස බුදුගුණ අභිබවා දේව යාතිකා රැව්දෙයි. තණ්හාව දුරුකොට සම්බුද්ධත්වයට පත්වීමට සෙවණ  දුන් බැවින් බෝධි යන අරුත් ඇති ඒ පින්බර සෙවණේ තණ්හා දාසි ලෙස නඩුහබ වෙනුවෙන්ද භාරහාර වෙති. වඳින්නේ බුදුන්ටයි.  යදින්නේ දෙවියන්ට හා යකුන්ටය. බුද්ධ උපතේ සැබෑ අරුත වටහා නොගත් අසරණයෝ බෝධි පූජාවකින්, දේව පූජාවකින්, තාවකාලික සැනසීමක් ලබති. වශී ගුරුකම්, හදි හූනියම් ආදී කට්ටඩිකම් කරන    චීවරධාරීන්  බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ වේශයෙන් පෙනී සිටීමෙන් විවිධ අකටයුතුකම්   කරමින් අධි සුඛෝපභෝගී ජීවිත ගත කරති. එහෙත් දඬුවම් කිරීමට තබා එවැන්නක් සසුනෙන් ඉවත් කිරීමට හෝ ප්‍රමානවත් නීති රීති අපේ රටේ නොමැත.
මෙවන් පසුබිමක් තුළ ගිහි බෞද්ධයෝ විවිධ ආගමික ව්‍යාපාරවලට හා ආගමික කඳවුරුවලට ගැතිවී යථාර්ථය නොදැන මං මුලාවෙති. දෙදහස් හාරසීයක් බුදු පිළිම නෙළීමෙන් පමණක් මේ අසරණ මානව සම්පත හරිමගට ගැනීමට හැකිවේද? එක් විහාරස්ථානයක් කේන්ද්‍රකොට එක් පුද්ගලයෙකු හෝ දුරාචාරයෙන් මුදවාගෙන යහපත් මිනිසෙකු කළ හැකි නම් විහාරස්ථාන දෙදාස් හයසියයක ප්‍රතිඵල සසුනට ලැබෙනු ඇත.

ශාස්ත්‍රපති සාමවිනිසුරු වික්‍රමසිංහ අතපත්තු තලවත්තේගෙදර

රටට සංඝාධීකරණයක් අවශ්‍යයි

වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ සංඝාධිකරණය බලාත්මක කරන්නැයි සංඝ සභා මඟින් ආණ්ඩුවලට යෝජනා කර ඇත. එහෙත් තවමත් එවැන්නක් සිදු වී නැතැයි ද බොහෝ සංඝයා වහන්සේලා කියති. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අර්ථවත් කිරිම සඳහා ද කතිකාවතක් මඟින් සංඝාධිකරණය ක්‍රියාත්මක කර බුද්ධශාසනයේ චිරස්ථිතිය ඇති කරන්නැයි මහානායක හිමිවරු බුද්ධශාසන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව, සංඝ සභා කතිකාවන් පිළිබඳව සාකාච්ඡා වට කිහිපයක් ද පැවැත්විණි. සංඝාධිකරණය අවශ්‍ය වන්නේ කුමක් සඳහා ද, ඉන් ලැබෙන ඵලය කුමක්ද? සංඝාධිකරණය යනු කුමක් ද යන්න බොහෝ දෙනා නොදනිති. ඒ නිසාම අපි මේ පිළිබඳව සොයා බැලීමට තිරණය කළෙමු.
Read more…

වර්තමානයේ චීවරධාරින් අතින් සිදුවන විවිධ නොගැළපෙන ක්‍රියා අවම කිරිමට ද විවිධ වූ අක්‍රමිකතා අවම කර ඒ පිරිස් හඳුනා ගැනීමට ද දැඩි අවශ්‍යතා පැවතීම නිසාම ශ්‍රී ලංකාවේ සංඝාධිකරණය බලාත්මක කළ යුතු බව මහා සඟරුවන අප සමඟ පැවසූහ. මේ පිළිබඳව බුද්ධිමත් වූ ගිහි පිරිස්වලින් විමසීමේදී ද ඔවුන් කියා සිටියේ රට තුළ සංඝාධිකරණය ක්‍රියාත්මක කළහොත් එය බුදු දහමේ පැවැත්ම සඳහා විශාල වශයෙන් උපකාරි වනු ඇති බවයි. ඇතැම් පිරිස් කිවේ සංඝාධිකරණය ගැන තමන් කිසිවක් නොදන්නා බවයි.
කතිකාවත් මඟින් සංඝාධිකරණය ස්ථාපිත කීරිමේ කාර්යය ඉටු කරවා ගැනීමට උනන්දුවක් දක්වන සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශවයේ මහානායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන්ගෙන් අපි විමසීමක් කළෙමු. උන්වහන්සේ මෙසේ අදහස් දැක්වූහ, සංඝ සභාවලින් ඉදිරිපත් කර ඇති කතිකාවත් වලින් තමයි සංඝාධිකරණය තිබෙන්නේ. කතිකාවත් කියන්නේ, බුදුරජාණන් වහන්සේ පනවා ඇති විනය පිටකයේ සඳහන් විනය නීති ඇසුරු කරගෙන ඒ ඒ භික්‍ෂු නිකායන් විසින් සම්මත කර ගන්නා ලද ව්‍යවස්ථාවයි.

සියම් මහ නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහ නායක  පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහ නා  හිමි
සියම් මහ නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහ නායක පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහ නා හිමි

මෙහිදි, ඒ ඒ නිකායන්වල භික්‍ෂූන් වහන්සේලාට ආවේණික වූ සම්ප්‍රධායික ක්‍රමවේද එහි ඇතුළත් වෙනවා. ඒවා මුලික ධර්ම විනයට අනුව සැකසිය යුතුයි. පැවිදි කිරිම, උපසම්පදා කිරිම, ශිෂ්‍යභාවය පත් කිරිම, ශිෂ්‍යභවයෙන් නෙරපීම, පොහෝ පවුරුම ආදි විනයකර්ම ආචාර ශික්‍ෂණ, පිරිවෙන් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, අධ්‍යාපන සේවා, විහාරාධිපති පත් කිරිම සහ වෙනත් කරුණු මෙම කතිකාවන්ට ඇතුළත් වෙනවා. මෙමගින් පනවා ඇති නිතිරිති කඩකරන සංඝයා වහන්සේලා පිළිබඳ විනයාණුකූල පරික්‍ෂණ පැැත්වීම සඳහා විනිශ්චය සභා පිහිටුවීම ද කතිකාවන්ට ඇතුළත් වෙනවා. එය සංඝාධිකරණය නමින් හඳුන්වනවා. මෙ අප රටේ පමණක් නොව සියලු සම්ප්‍රධායීන්වලට අයත් භික්‍ෂූ භික්‍ෂූණි උභය සංඝයා ඇතුළත් සංඝ සභාවල පවතින නිතිරිති මාලාවක් ශ්‍රී ලංකාවේ මහින්දා ගමනයෙන් පසු මහා විහාරය මුල් කොටගෙන මෙය ක්‍රියාත්මක වුණා. භික්‍ෂූත්වයට නොගැළපෙන ක්‍රියා කළ භික්‍ෂූන් වහන්සේලා පිළිබඳ සංඝාධිකරණය විනිශ්චය කොට එම තීරණය රටේ රජතුමා වෙත දැන්වීමෙන් පසු එම තීරණය රජතුමා ක්‍රියාත්මක කිරිම අප ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. දුසිල් මහනුන් සසුනෙන් නෙරපා ශාසනය පිරිසිදු කළ බව අනුරාධපුර, පොළොන්නරුව මෙන්ම දඹදෙණි යුගවල ක්‍රියාත්මක වෙලා තියෙනවා.
මෙම තත්වය සිංහලයේ ශ්‍රී වික්‍රමරාජසිංහ සමය දක්වාම අප රට තුළ පැවතුණා. බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු එම රාජ්‍ය නායකයන්ගේ අවශ්‍යතා මත ඒවා නවතා දැමුවා. භික්‍ෂූන් වහන්සේලාද අධිකරණ පිහිට පැතුවා. අදටත් තායිලන්තය වැනි රටවල මෙ ඉතා හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි එම රටවල බුදු දහම මෙතරම් දියුණු වී සංඝ ශාසනය අති පරිශූද්ධ බවට පිළිගෙන සිටින්නේ. අද ලංකාවේ ඒ ඒ සංඝ සභාවල යම් කිසි භික්‍ෂුවක් විනය විරෝධි ක්‍රීයාවක් කළහොත් භික්‍ෂුව සම්බන්ධයෙන් නිකායේ මහානායක ස්වාමීන් වහනසේට ගත හැකි කිසිදු නීති බලයක් නැහැ. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව මෙය නිතිගත කර දෙන්න කියලා අප ඉල්ලීමක් කළා. ඒත් සම්බුද්ධත්ව ජයන්තිය විදුලි බුබුලුවලට, දානයට, පමණක් සීමා කළා යැයි සුමංගල මහානාහිමියෝ කීය.
අදටත් අප රටේ අධිකරණ සංඝනායක පදවි ලැබූ භික්‍ෂුන් වහසේලා සිටිති. අප ඒ පිළිබඳව සංඝරාජ යන නාමය පිළිබඳ උන්වහන්සේලාගෙන් විමසීමක් කළෙමු. අධිකරණ සංඝනායක යන පදවිය අර්ථ විරහිත පදවියක්. එහි කිසිදු බලාත්මක දෙයක් නැහැ. සංඝාරාජ පදවිය අප රටේ පැවතුණා. අප රටේ අවසාන සංඝරාජ පදවිය ලැබුවේ වැලිවිට සරණංකර නාහිමියන්. එය රජු විසින් තමයි පත් කරන්නේ, සුමංගල නාහිමියෝ පැවසූහ. මීට වසර 15කට ඉහතදී අප රට තුළ සංඝාධිකරණය බලාත්මක කර දෙන්නැයි සංඝ සභා මගින් එවකට පැවැති රජයෙන් ඉල්ලීම් කළ ද එය ඉටු නොවුණි. 2004 වසරේදී කතිකාවක් ලියාපදිංචි කිරිමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට සැලසුම් සකස් කර තිබුණ ද එයද ඉටු නොවු බව මේ පිළිබඳ සොයා බැලීමේදි අපට තොරතුරු ලැබුණි.

අමරපුර මහ නිකායේ සභාපති අග්ග මහා පණ්ඩිත  කොටුගොඩ ධම්මාවාස නාහිමි
අමරපුර මහ නිකායේ සභාපති අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමි

අපි මේ පිළිබඳව අමරපුර මහා නිකායේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගෙන් ද විමසීමක් කළෙමු. ලංකා ඉතිහසයේ දිර්ඝ කාලයක් තිස්සේ මේ ගැන කතා කළ ද තවමත් එය ක්‍රියාත්මක වී නැත. සම්බුද්ධ ශාසනයේ මහා සංඝරත්නය රැකගන්නත් ඇති සාර්ථකම විසදුම තමයි මෙය. මහා සංඝරත්නයේ ආශිර්වාදය අනුශාසනා පරිදි මේය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. විදේශ බලපෑම් මත තමයි අප රටේ මෙය අහිමි වී තියෙන්නේ. දැනට ද මහා සංඝරත්නය පිළිබඳව දොස් තිබෙනවා. මේවායින් මහා සඟරුවන ආරක්‍ෂා කර ගැනීමට අප උත්සහ කළ යුතුයි. රජය මැදිහත් වී බුද්ධශාසන අමාත්‍යංශයේ පුරෝගාමීත්වයෙන් මල්වතු, අස්ගිරි, අමරපුර රාමඤ්ඤ නිකායන්වල මහා සඟරුවන මෙන්ම අනෙකුත් උගත් බුද්ධිමත් නායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් ලබා ගෙන බුදු දහම රැක ගැනීමට නම් රජය මැදිහත් වී වහාම මෙය ක්‍රියාත්මක කිරිමට කටයුතු කළ යුතුයි. මේ සඳහා අප රටේ මාධ්‍ය මඟින් ද දිගින් දිගටම කතා කළ යුතුව තිබෙනවා. එහෙම නැතිව විවිධ පුද්ගලයන් ආයතන පිළිබඳ විවිධ ප්‍රචාර කරමින් ඇතැම් දේ නිසා භික්‍ෂූන් වහන්සේලාට අද විශාල හානියක් වී තිබෙනවා යැයි උන්වහන්සේ කීය.

කාංචන කුමාර ආරියදාස

සිරිලක බැබල වූ උපසම්පදා මහෝත්සවය උත්සවශ්‍රීයෙන්

ශ්‍රී ලංකාවේ භික්ෂූණි සසුන වසර 900කට පසු නැවත ස්ථාපිත වූයේ සමස්ත කාන්තාවන්ට නව ප්‍රවිශ්ඨයක් එක් කරමිනි. මේ වනවිට 13 වසරක් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වැඩ හිදිමින් කසාවතින් සැරසුනු භික්ෂුණීන් වහන්සේලා ජනතා හිත සුව පිණිස ධර්ම ප්‍රචාරණයේ නියැලී සිටිති.

Upasampada 2

ශ්‍රී ලංකා භික්ෂුණී සසුනේ 19 වන උපසම්පදා උත්සවය පසුගිය 9-10 දෙදින තුළ රංගිරි දඹුල්ල උයන්වත්ත රජමහා විහාරස්ථානය කේන්ද්‍රකොට ගනිමින් සියම් මහ නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වය ලබාදුන් අමිල වූ ශාසනික සේවයෙන් එහි උපෝසථාගාරයේදී පැවැත්විණි. මෙහිදී ධර්ම විනය හා ධර්මය පිළිබඳ දැනුම ලබාගත් සාමනේරී භික්ෂූණීන් වහන්සේලා 35 නමක් උපසපන් විය. මෙම පිරිසත් සමඟ මෙසිරිලකේ උපසපන් භික්ෂූනීන් වහන්සේලා 850 නමක් පමණ වැඩ සිටිති. තවත් සාමණේරී භික්ෂූනීන් වහන්සේලා 2000 පමණ උපසම්පදා වීම සඳහා ධර්මය මෙන්ම ධර්ම විනය හදාරමින් මාහැඟි සමාජ සේවයේ මෙන්ම ධර්ම ප්‍රචාරණයේ යෙදී සිටින බව එහි ලේඛකාධිකාරී පූජ්‍ය කොත්මලේ සිරි සුමේධා භික්ෂූණීන් වහන්සේ පවසන්නීය.
Read more…

Upasampada 1

1998 වසරේ ශ්‍රී ලංකාවේ නැවතත් භික්ෂූණී සසුන ආරම්භ කිරීමට සියම් මහ නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සමුංගල හිමියන්ගෙන් ලැබුණු නායකත්වය මත ශ්‍රී සම්බුද්ධ සසුනට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස එක් කිරීමට හැකි විය. එය අදට ද බෞද්ධ ඉතිහාසයට එක් වී බෞද්ධ ජනතාවගේ හදවත් වල තැන්පත් වී හමාරය.
ජනතාව භික්ෂුණ්  වහන්සේලා මෙන්ම භික්ෂුණීන් වහන්සේලා රැක බලා ගනිමින් උවටැන් කරමින් ශාසනලැදිව කටයුතු කරන යුගයක භික්ෂූණී සසුන දියකර හැරීමට තවත් පිරිසක් කැස කවමින් සිටින බව ජනතාව තවමත් නොදන්නවා ඇත. එහෙත් සත්‍ය මෙයයි. ශ්‍රී ලංකා භික්ෂූණී සසුන නොමැති බව පවසමින් උන් වහන්සේලාට විවිධාකාර වූ වඳ වේදනාවන් වලට ලක් වීමට සිදු වී ඇත. අවම තරමේ භික්ෂුනී හැදුනුම්පත හෝ ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇත. භික්ෂුණී ආරම්භ ලියාපදිංචි කිරීමට අත්හිටුවා තිබෙන ව සඳහන්ය. කෙසේ වෙතත් භික්ෂූණී ශාසනයේ උන්නතිය සඳහා කැප වන බෞද්ධ ජනතාව තම පණ මෙන් රකින භික්ෂූණී වහන්සේලාට බුද්ධ ශාසන අමාත්‍යංශයට ගිය විට වාඩිවීමට පුටුවක් හෝ ලබා නොදිමට එහි පාලන අධිකාරිය කටයුතු කරන බව අප සමඟ කීවේ ධම්මපදීපා භීක්ෂූණීන් වහන්සේයි. උන් වහන්සේ වැඩිදුරටත් අප සමඟ කියා සිටියේ දැනට අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින කුඩා භික්ෂූණීන් වහන්සේලාට අනාගතයේ දී මෙය බරපතල ප්‍රශ්නයක් වන බවයි. උන් වහන්සේලාට අධ්‍යාපන ලැබීමට අවශ්‍ය වටපිටාව තවමත් සැකසී නොමැති බවත්, පොතක් පතක් හෝ ලබාදීමට පියවර ගෙන නොමැති බවත්ය.  භික්ෂූණීන් වහන්සේලා මේ බව ජනතාවට නොකීව ද හදවතේ හුවාගෙන තම වගකීම් ඉටු කරමින් සිටී.
ශ්‍රී ලංකාවේ භික්ෂූණී සසුනක් නොමැති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා සඳහන්කරයි. කොමසාරිස් වරයා එසේ සඳහන් කර සිටින්නේ තවත් පිටස්තර පුද්ගලයන් කීප දෙනෙකුගේ අවශයතාවයන් ඉටු කර ගැනීමට ද එසේත් නොමැති නම් පෞද්ගලික කාරණයක් නිසාද යන්න අපට පැහැදිලි නැත. දැනට පිහිටුවා ඇති භික්ෂූණී ශාසනය නොපිලිගන්නා බවත් භික්ෂූණීන් වහන්සේලාට සිල්මාතාවන් නමින් හැදුනුම්පත් නිකුත් කරන බවද කියාසිටී. ත්‍රෛනිකායික මහා සංඝරත්නය භික්ෂූණී සසුනක් මෙරට නොමැති බව තමා වෙත ලිඛිතව දැනුම් දී තිබෙන බවත් ඒ අනුව තවත් නාහිමිවරුන් කීප දෙනෙකුගෙන් ලිපි කිහිපයක් ලබාගැනීමෙන් පසු භික්ෂූණී සසුනක් මෙරට නොමැති බවට ජනතාවට සන්නිවේදනය කරන බව කීවේය.
කොමසාරිස් ජනරාල් වරයා එසේ කීව ද බෞද්ධ ජනතාව මේ වන විට භික්ෂූණී සසුන ආරක්‍ෂා කිරීමට සියලු විධිවධාන සලසමින් සිටිති. සංඟමිත් තෙරණිය කථා පුවත මෙන්ම අප බුදු දහමේ ඉගැන්වෙන භික්ෂුණී සසුන ශ්‍රී ලංකාවේ නොමැති බවට ප්‍රකාශ කරමින් සිදු කරන්නට යන මෙම වැඩ පිළිවෙල කුමක්දැයි යන්න ජනතාවට හෙළි කිරීමට ද මෙම බලධාරීන්ගේ වගකීමකි.

පන්සල් සංවර්ධනය කිරිම දායකයින්ගේ වගකීමයි

විශ්ව කීර්ති නන්දිමිත්‍ර ඒකනායක
බෞද්ධ අධ්‍යාපන සංවර්ධන පදනම සහ
උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

වසර දෙදහස් පන්සියකට අධික කාලයක සිට ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය පවතින්නේ අතිශය කැපවිමකින් ශාසනය රකිනා බෞද්ධ භික්ෂූන් වහන්සේලා නිසාවෙනි.
උන්වහන්සේලා බෞද්ධ ජන ජිවිතයේ ආගමික සාමාජික හා අධ්‍යාපනික කටයුතු කෙරෙහිද මාර්ගෝපදේශකත්වය සලසමින්  ඒ සදහා ක්‍රියාකාරිව අනුගතවි සිටින අතර දැනුදූ එසේමය. එම නිසා බුද්ධ ශාසනයේ  පැවැත්මට ගරුතර මහා සංඝරත්නයේ සේවය නැතුවම බැරිය. බොදූ ජනතාව හා භික්ෂුන් වහන්සේ අතර බැඳියාව ගසට පොත්ත මෙනි. උපතේ සිට මරණය දක්වා ද මරණින් පසුද ඇතැම් විට උපතට පෙරද භික්ෂූන් වහන්සේලා සේවය ගිහි බෞද්ධයා ලබා ගනි. භික්ෂුන් වහන්සේ වෙත පිළිසරණ පතා පැමිනෙන ගිහි බෞද්ධයෙකුගේ ඉල්ලීම කිසි දිනක භික්ෂුන් විසින් පැහැර නොහරි.

1899-36003

ඇතැම් විට කුඩා කල සිටම සිය දෙමාපියන්ගේ වෙන්වශාසනයට ඇතුලත් වන භික්ෂුන් වහන්සේලා එතැන් සිට ජීවත් වන්නේ පන්සලේය. පන්සල් පිහිටා තිබෙන්නේ ගම් වලය. නගරවලය. එම පන්සල් වලින් සහ භික්ෂුන්ගේ සේවය ලබන්නේත් පන්සල් වලට ගොස් වන්දනා මන කරනෙත් ගිහි බෞද්ධයන්මය. එම නිසා පන්සලක් අංගසම්පුර්ණ වන්නට බුදූ ගෙය ධර්ම ශාලාව බෝධින් වහන්සේ චෛත්‍ය සංඝාවාසය සහ ඝන්ඨාරය වැනි  භෞතික වස්තුන් අවශය වන්නාක් මෙන්ම භික්ෂුන් වහන්සේද වැඩ සිටිය යුතුමය.
Read more…

පන්සලේ වැඩ සිටින භික්ෂුන් වහන්සේ තම දායක කාරකාදීන්ට නොවගලහා යුතුකම් ඉටුකරති. ධර්ම දේශනා පිරිත් දේසනා අනුශාසනා නොවඩුව අවශ්‍ය තැන්හීදී අවශ්‍ය ආකාරයට පවත්වති.දානමානදියට නිවෙස් වලට වැඩම කරවති. මෙහි දී ජාති කුල භේද වලින් තොරව සේවාවක් ඉටු කරන භික්ෂුන් වහන්සේ වෙත පෙරලා යුතුකම් ඉටු කිරිම බෞද්ධ ජනතාවගේ යුතුකම වන්නේය. භික්ෂුන් වහන්සේට පමනක් නොව  බෞද්ධ ජනතාවට ද වන්දනාමාන කිරිම සදහා පන්සල අංගසම්පුර්ණ තැනක් විය යුතුය. පන්සලකට අවශ්‍ය මෙම භෞතික සම්පත් සපුරාලිය යුත්තේ කවුරුන් විසින්ද. අනිවාර්යයෙන්ම එයට මුල් විය යුත්තේ පන්සලට යන එන භික්ෂුන් වහන්සේලාගේ සේවය ලබන දායකකාරකාදීන්ය. එහිලා භික්ෂුන් වහන්සේගේ මඟ පෙන්විම සහ අනුශාසනා ලබා ගැනීමද අත්‍යවශ්‍යය.

එහෙත් වත්මන් සමාජයේ අප දකින්නේ කුමක්ද. බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර කියා දෙන, බණ භාවනා කියා දෙන ඒ සඳහා කැපවි සිටින භික්ෂුන් වහන්සේලාට ඒ සදහා දායකත්වය සපයා ගැනිමට සිදූවී ඇති ආකාරය කණගාටු දායකය. සංඝාවාස සදා ගැනිමට, බුදූ මැදූර සදා ගැනිමට, ධර්ම ශාලාව තනා ගැනිමට, බොධි ප්‍රකාරය සාදා ගැනිමට, චෛත්‍ය ඉදි කිරිමට ආධාර පතා භික්ෂුන් වහන්සේලාට යෑමට සිදූවී ඇත්තේ වැඩිපුරම ව්‍යාපාරිකයන් දේශපාලකයන් පසුපසය. මෙසේ යන භික්ෂුන් වහන්සේලාට ඇතැම් විට ඇතැම් අයගේ අපහාසයට උපහාසයට ලක්වන අවස්තා නැත්තේ නොවේ. අදල දේශපාලකයන්ගේ ප්‍රභුවරුන්ගේ ව්‍යාපාරිකයින්ගේ කාර්යාල සහ නිවෙස් වල පැය ගණනක් අදාල අය හමු වීමට කල් ගෙවන භික්ෂුන් වහන්සේලා අප කොතෙකුත් දැක ඇත. නිවෙස් වල පිංකම් කිරිමේදි පා දෝවනය කොට පාවඩ දමා නිවසට වැඩමකරවා ගන්නා බෞද්ධ භික්ෂුන් වහන්සේ ආධාරයක් පතා තමන් වෙත පැමිණි විට වැඩ සිටිමට ඇති ආසනයට ඇතිරිල්ලක් දැමිම පවා ඇතැම් ගිහි බෞද්ධයින්ට අමතක වේ.

භික්ෂුන් වහන්සේලා පන්සල් වැඩි දියුණු කිරිමට ආධාර පතමින් වැඩම කරවන්නේ උන්වහන්සේලා පෞද්ගලික අව්‍යතාවයන් සපුරා ගැනිම සඳහා නොවේ. ශාසනයේ පැවැත්ම සඳහාය. විශේෂයෙන් දේශපාලකයින් වෙත පැමිණෙන ගිහියෝ බොහෝ දෙනා පැමිනෙන්නේ සිය පෞද්ගලික අවශ්‍යතාවයන් සපුරා ගැනිමටය. පවුලේ අභිවෘද්ධියට දරුවාට රුකියාවක් ස්ථාන මාරුවක් හෝ වෙනත් අසාධාරණයක් සාධාරණී කරණය කරගැනිමට අදි දහසකුත් එකක් කටයුතු ඉටු කර ගැණිමටය. එහෙත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා පැමිණෙන්නේ අඹුදරුවන් පොෂණය කිරිමට ආධාර පතා හෝ වෙනත් පෞද්ගලික අවශ්‍යතාවයන් සපුරා ගැනිමට උපකාරයක් ඉල්ලා නොවේ. පුන්‍ය ක්‍රියාවකට දේශපාලනඥයා සහභාගිකර ගැනිමටය.

කෙසේ වෙතත් මෙම ක්‍රියාවලියේ දී භික්ෂුන් වහන්සේලාට හිමි විය යුතු ගෞරවයට හා පුජණීයත්වයට හාණියක් හෝ හෑල්ලුවට ලක්විමත් සිදූවෙනවා යනු මගේ පෞද්ගලික හැගිමයි.  ගිලන්වූවකුට පිහිට වීම සඳහා පිරිත් ටිකක් සජ්ජායනා කිරිමට යම් කිසි ආපදාවකට පිහිට වීම භික්ෂුන් වහන්සේ ඕනෑම තැනකට නිවසකට වැඩම කිරිමේ වරදක් නැත. ඒ උන්වහන්සේලා විසින් සිදූ කරන ආගමික සාමාජික සේවාවට එය අදාල බැවිනි.මෙසේ මෙම කාරණා ගැන මෙනෙහි කිරිමේ දී පන්සල දියුණු කළ යුත්තේ කවුරුන්ද? ආධාර පතා දේශපාලනඥයින් ප්‍රභුන් වෙත් යා යුත්තේ කවුරුන්ද?

මේ ගැන සිතීමට කාලය පැමිණ ඇත. පන්සලත් භික්ෂුන් වහන්සේත් අවශ්‍ය වන්නේ දායකයන්ට නම් පන්සල වැඩිදියුණු කිරිමේ හා රැක බලා ගැනිමේ වගකිම සහ වුවමනාව ද දායකයින්ට තිබිය යුතුය. පන්සලේ වැඩ සිටින භික්ෂුන් වහන්සේ අනුශාසනා හා මඟ පෙන්විම යටතේ පන්සල දියුණු කිරිමට සැලසුම් කිරිමත් අවශ්‍ය ආධාර ලබා ගන්නා ක්‍රමයක් උන්වහන්සේ සමඟ සාකච්ජා කිරිමත් ඒ අනුව ආධාර පතා යායුතු අය කරා යාමත් දායක සභා හෝ දායකින්ගේ සංවිධානයක් මගින් කළ හැකිය.  ඒ සඳහා අවශ්‍ය නම් පන්සලේ වැඩ සිටින භික්ෂුන් වහන්සේගෙන් ලිඛිත ඉල්ලිමක් ආධාර පතා යන අයගේ අතට පත්කිරිම  ප්‍රමාණවත් නොවන්නේද? විහාරස්ථානයේ වැඩි දියුණුවට ආධාර පතා දේශපාලකයින්, ප්‍රභුන්, ව්‍යාපාරිකයින් වෙත යන දායක කමිටුවට පන්සලේ හාමුදුරුවන්ගේ ලිපිය ප්‍රමාණවත් බව මගේ හැගීමයි. ආධාරයක් කිරිමට හැකියාවක් ඇතිකෙනා සැබෑ බෞද්ධයකු නම් සහ ආධාරයක් කිරිමේ ඇති වැඳගත්කම අවබෝධ කර ගන්නේ නම් මෙන්ම ශ්‍රද්ධාවන්තයෙක්නම් යම් ආධාරයක් කරනු ඇත.

ඊළගට පන්සල මුල් කරගෙන පැවැත්වෙන විවිධ උත්සව සහ දහම් පාසල් ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රධාන උත්සව, මුල් ගල් තැබ්ම, විවෘත්ත කිරිම් පින්කම් මාලාවන් ඇරඹ්ම සදහා දේශපාලකයින් ප්‍රභුන් කැදවීම අප පන්සලේ සංස්කෘතියේ ලක්ෂණයක් බවට පත් වී ඇත. මේ සඳහා ආරාධනා කිරිමට ද පන්සලේ හාමුදුරුවෝ අදාල අයගේ නිවෙස් වලට වැඩම කරවිම සුලභ සිද්දියකි. එසේ තමන් වහන්සේ ගොස් ආරාධනා නොකලොත් නොසලකා හරිවි පිළිගැනිමක් නැතිවේ යන හැඟිම භික්ෂුන් වහන්සේලා තුළ ඇති බව පෙනේ. ඒ සදහා වේලාවක් අවේලාවක් නොමැතිව ප්‍රභු නිවෙස් වලට වැඩම කරවන භික්ෂුන් වහන්සේලා ගැන මට නම් ඇති වන්නේ මහත් අනුකම්පාවකි.
එවැනි ආරාධනා කිරිම් ආදියට වුවද කලින් සඳහන් කළ ක්‍රමෝපායන් භාවිතා කළ හැක. එසේ වත්මන් සමාජය තුළ සන්නිවේදන මාධයන් ඉතා දියුණුය.

ශ්‍රි ලංකාවේ ධනවතුන් ව්‍යාපාරිකයින් මෙන්ම දේශපාලකයින් ද මෙම සන්නිවේදන ජාලාවන් ප්‍රයෝජනයට ගනිති. අව්‍ය නම් දූරකථන මඟින් ෆැක්ස් යන්ත්‍ර මඟින් ද භික්ෂුන් වහන්සේට ද යථොක්ත දායකයින් අභිමුඛයේ කරන ලද ආරාධනා වලට අමතරව ආරාධනා කළ හැකිය. ශ්‍රද්ධාවන්ත ප්‍රභුවරයකුට නම් එය හොඳටම ප්‍රමාණවත්ය.
ධම්මපදයේ බාලවග්ගයේ එන පහත සඳහන් ගාථාව සිහි කිරිම ගිහි පැවිදි අප සැමට ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.

“මමේව කත මඤ්ඤන්තු  -ගිහි පබ්බජිතා උහෝ
මමේව අතිවසා අස්සු -කිච්ජා කිචෙිසු කිස්මිචි
ඉති බාලස්ස සංකප්පෝ -ඉච්ජා මානෝව වඩ්ඩති”

“ගිහියෝ හෝ පැවිද්දෝ හෝ වේවා පන්සලේ සියලු කටයුතු නොකටයුතු වලද ඔවුහු මට පක්ෂ වෙත්වායි ද අනුවනයාට අදහස් වේයි. එකල ඒ අනුවනයාට විදර්ශනාව හා මාර්ගඵල නොවැඩෙත් මොඩ කල්පනාව සහිත තෘෂ්ණාව සහ මාන්නය පමණක් වැඩෙත්.”

මමය මාගේය සිතුවිලි බැහැර කරගෙන අපිය අපේය යන සිතිවිල්ල පෙරදැරි කරගෙන තම පන්සල දියුණු කර ගැණිමට දායක කාරකාදීන්  සිතා ගත යුතු වනවා පමණක් නොව භික්ෂුන් වහන්සේද මගේ පන්සල යන්න බැහැර  කොට මගේත් අප දායකයින්ගේත් සාමූහික ප්‍රයත්නය නිසා පන්සල දියුණු කරගෙනය යන නිහතමානි සිතිවිල්ලෙන් ගිහි බෞද්ධයාට විහාරස්ථානයේ දියුණුව ගැන අනුශාසනා කළ යුතුය. එවිට අපේය යන හැඟිම වැඩි දියුණු විම තුළින් සාමුහික ප්‍රයත්නය දරා විහාරස්ථාන වල සංවර්ධනය සිදූ කෙරෙනු ඇත. මෙම සියලු කටයුතු සඳහා පන්සලේ සක්‍රීය දායක සභාවක් තිබිය යුතුය. කුළගන සමිතියක් තිබිය යුතුය. ඒ වායේ නිලතල සැබෑ කැපවිමකින් කටයුතු කළ හැකි අයට පැවරිය යුතුය. එවන් අය තුළ නායකත්ව ගුනාංග ඔවුන්ගේ ක්‍රියා වලින් ප්‍රදර්ශනය විය යුතුය. ඔවුන් තුළින් ඔවුන්ගේ අවන්කකම හා නිහතමානිකම ප්‍රකට විය යුතුය. අවශේෂ සාමාජික සාමාජිකාවන්ගේ ගෞරවයට පාත්‍ර වන්නාවු ද පන්සලේ හාමුදුරුවන්ගේ අනුශාසනා නිහතමානිව පිළීගන්නාවූ ද නම්‍යතාවකින් කටයුතු කළ හැකි අය නායක නිලතල සඳහා ගම්මුන් විසින් තෝරා පත්කර ගත යුතුය. ඔවුන් කිසිවකුගේ එහෙයියන් නොවිය යුතුවාක් මෙන්ම දේශපාලන වශයෙන් ගමත් දායක සභාවත්   බෙදී යාමට ඉවහල් වන දේශපාලනඥයකුගේ  හෝ දේශපාලන පක්ෂයක හෙන්චයියකු ද නොවිය යුතුය. එවිට විහාරස්ථාකයේ දියුණුව සඳහා ගනු ලබන තීරණ සහ නිගමන ඔස්සේ කොයි කාගේත් අධාර උපකාර මත විහාර සංවර්ධන කාර්යයන් ක්‍රමවත්ව ඉටුකර ගැනීමට හැකිවනු ඇත.

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පසු වදනක්

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ලෝකවාසී බෞද්ධ ජනයාහට අතිශය වැදගත් දිනයක් විය. ඊට ප්‍රධාන හේතුව වූයේ වසර සියයකට වරක් පැමිණෙන මෙම අවස්ථාවට එක්වීම බෞද්ධයින් ලබනා මහඟු වාසනාවක් ලෙස සැලකීමය. කලාතුරකින් අයෙකු හැරෙන්නට වැඩි පිරිසකට සම්බුද්ධත්ව ජයන්තීන් දෙකක් දැකබලා ගැනීමට සිතපහදා ගැනීමට අවස්ථාව උදානොවන්නේය. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තීන් එළඹෙන කල ලොව පුරා මහත් බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවීමත්, ත්‍රිවිද පුණ්‍යක්‍රියා සිදුකරමින් සසර ගමන පිළිබඳව වැඩිදුර සිතාබැලීමටත්, චතුරාර්ය සත්‍ය වටහා ගැනීමටත් ඉඩකඩ ලැබෙන බැවින් එවැනි කාලවකවානුවල ඉපිද සිටීම සැබැවින්ම භාග්‍යයකි.
2600 සම්බුද්ධත්ව ජයන්තිය එළඹියේ ලෝකය සන්නිවේදන තාක්‍ෂණයෙන් සීඝ්‍ර දියුණුවක් ලද සමයකය. එමෙන්ම මුළු ලොවම ස්වභාවික හා මිනිසා විසින් ඇතිකරනු ලබන විවිධ ව්‍යසනයන් හේතුවෙන් පීඩාවට පත් සමයකය. එසේම ලෝකය පුරා වන චින්තනයක් බිහිවන බවක්ද පෙනී යන අවධියකය.
2600 සම්බුද්ධත්ව ජයන්තිය මෙරට ප්‍රකාශවූයේ 2010 වෙසක් පුණු පෝදිනයේදීය. ‛පිළිවෙතින් පෙළගැසෙමු’ යන අගනා දිශාභිමුඛ පාඨය පෙරදැරිව මුළු රටම වෙසක් උළෙල සමරනු ලැබූ බව පැහැදිළි විය.
එහෙත් ලෝකය හා දේශයත්, තාක්‍ෂණය සහ අධ්‍යාත්මික අවශ්‍යතාවත් සලකා බැලූ කල 2600 සම්බුද්ධත්ව ජයන්තිය උපරිම ඵල ලැබුවාද යන්න සොයාබැලිය යුත්තකි. ඊට කදිම නිදසුනවන්නේ පිළිවෙත කුමක්දැයි කියා අද වනතුරුවත් නිසි අර්ථදැක්වීමක් දැකගත නොහැකිවීම නිසාය. විද්‍යුත් මාධ්‍යයන්හි ඒ වෙනුවෙන්ම වූ වැඩසටහන් පවා විකාශය විය. පුවත්පත්, ලිපි, විශේෂාංග සහ අතිරේක පල විය. ඒ සෑම එකක් තුළම දැකගත හැකිවූයේ එක් එක් ලේකඛයාගේ ඒක එක් දේශකයාගේ අර්ථ දැක්වීම්ය.
තේමාවක් නිර්මාණය කරනුයේ සමස්ත අනුගාමිකයෝ අරමුණු කරා යොමු කරගනු පිණිසය. එහෙත් සියලු රටවැසි බෞද්ධයින් ශ්‍රී සම්බුද්ධත්ව උළෙල සමරනු ලැබුව ද ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායේ මුදුන් මල්කඩ බඳු රටක් ලෙස අපගේ මෙහෙවර පිළිබඳ සතුටුවීමට අපට හැකිද යන්න නැවත සිතා බැලිය යුත්තකි.
සමාජය ආර්ථික, දේශපාලනික, අධ්‍යාපනික මෙන්ම සංස්කෘතික වශයෙන්ද මහත් ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබෙයි. ඒ සියලු ප්‍රශ්න විසඳාලීමේ මාහැඟි ධර්ම මාර්ගය බුදු දහම තුළ අන්තර්ගතය. එහෙත් ඒ පිළිබඳව ගවේෂණය කළේ කවුරුන්ද?. ඒවා ඇසුරෙන් එකම හෝ ක්‍රමයක් සමාජ යාන්ත්‍රණයට දියත් කළේ කවුරුන්දැයි කියා විමසීම අත්‍යවශ්‍යය.
දිළිඳුභාවය, විරැකියාව, පවුල් ආරවුල්, සමාජ ප්‍රචණ්ඩත්වය, දුෂ්කර ප්‍රදේශවල පාසල් වැසීයාම, භික්‍ෂුන් වහන්සේලා විඳින අපමණ ගැටළු, දහම් පාසල් අඩුපාඩු ආදී දහසකුත් එකක් ප්‍රශ්න සමාජය තුළ දැකගත හැකිය. මේවා පදනම් කරගනිමින් විධිමත් ධර්මාවබෝධ ක්‍රමයක් ස්ථාපිත කිරීමේ මහඟු අවස්ථාව අප හමුවේ තිබුණි. එහෙත් ඉන් නිසි ප්‍රයෝජන අප ලබාගත්තාද යන්න ද විමසනු වටී.

Read more…

ශ්‍රී සම්බුද්ධ ජයන්තිය උදෙසා බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් ගෙනඑන ලද කෙටුම්පත පවා බෞද්ධ වීරෝධී යෝජනා වලින් යුක්තයැයි මහ සඟ රුවනේ විරෝධයට හේතු වූ බව ද සිහි කළ යුතුය. මෙකී සියලු කාරණා මඟින් කියැවෙන්නේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා පරිපූර්ණ මහා පිංකමක් අප අතින් සිදුනොවූ බවකි.
කෙසේ වුවද ලෝකය පුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවීමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා සම්බුදු උළෙල සැමරීම අගය කළ යුත්තකි. ශ්‍රී ලංකාව මුල්කරගනිමින් ජාත්‍යන්තර මහා බෞද්ධ සම්මේලන පැවැත්වීම මෙන්ම රාජ්‍ය අනුග්‍රහයෙන් රටපුරා වෙසක් සතියක් පැවැත්වීම ද සිහිකළ යුතුය. රජමැදුරේ සිට දිළිඳු පැල දක්වාම පාට බල්බයක්, බෞද්ධ කොඩියක්, වෙසක් සැරසිල්ලක්, එළිය පෙට්ටියක් හෝ දිස්වීම ද සියලු වෙහෙර විහාරස්ථාන විසින් අසීමිත පමණින් විවිධ පිංකම්, පෙරහැර, දානමාන, දන්සැල්, සීල සමාධාන ආදිය ද පැවැත්වීම මහත්සේ අගය කළ යුතුය. දැන් යලිත් 2011 වසර දක්වා සම්බුද්ධත්ව ජයන්ති වසරක් ප්‍රකාශ කොට ඇත. උගත් පාඩම් ඇසුරෙන් මෙම වසර තුළදී හෝ බෞද්ධ ලෝකයට වැඩදායී යමක් කිරීම බෞද්ධ අප සැමට බාර කටයුත්තකි.

images

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ලෝකවාසී බෞද්ධ ජනයාහට අතිශය වැදගත් දිනයක් විය. ඊට ප්‍රධාන හේතුව වූයේ වසර සියයකට වරක් පැමිණෙන මෙම අවස්ථාවට එක්වීම බෞද්ධයින් ලබනා මහඟු වාසනාවක් ලෙස සැලකීමය. කලාතුරකින් අයෙකු හැරෙන්නට වැඩි පිරිසකට සම්බුද්ධත්ව ජයන්තීන් දෙකක් දැකබලා ගැනීමට සිතපහදා ගැනීමට අවස්ථාව උදානොවන්නේය. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තීන් එළඹෙන කල ලොව පුරා මහත් බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවීමත්, ත්‍රිවිද පුණ්‍යක්‍රියා සිදුකරමින් සසර ගමන පිළිබඳව වැඩිදුර සිතාබැලීමටත්, චතුරාර්ය සත්‍ය වටහා ගැනීමටත් ඉඩකඩ ලැබෙන බැවින් එවැනි කාලවකවානුවල ඉපිද සිටීම සැබැවින්ම භාග්‍යයකි.

2600 සම්බුද්ධත්ව ජයන්තිය එළඹියේ ලෝකය සන්නිවේදන තාක්‍ෂණයෙන් සීඝ්‍ර දියුණුවක් ලද සමයකය. එමෙන්ම මුළු ලොවම ස්වභාවික හා මිනිසා විසින් ඇතිකරනු ලබන විවිධ ව්‍යසනයන් හේතුවෙන් පීඩාවට පත් සමයකය. එසේම ලෝකය පුරා වන චින්තනයක් බිහිවන බවක්ද පෙනී යන අවධියකය.

2600 සම්බුද්ධත්ව ජයන්තිය මෙරට ප්‍රකාශවූයේ 2010 වෙසක් පුණු පෝදිනයේදීය. ‛පිළිවෙතින් පෙළගැසෙමු’ යන අගනා දිශාභිමුඛ පාඨය පෙරදැරිව මුළු රටම වෙසක් උළෙල සමරනු ලැබූ බව පැහැදිළි විය.

එහෙත් ලෝකය හා දේශයත්, තාක්‍ෂණය සහ අධ්‍යාත්මික අවශ්‍යතාවත් සලකා බැලූ කල 2600 සම්බුද්ධත්ව ජයන්තිය උපරිම ඵල ලැබුවාද යන්න සොයාබැලිය යුත්තකි. ඊට කදිම නිදසුනවන්නේ පිළිවෙත කුමක්දැයි කියා අද වනතුරුවත් නිසි අර්ථදැක්වීමක් දැකගත නොහැකිවීම නිසාය. විද්‍යුත් මාධ්‍යයන්හි ඒ වෙනුවෙන්ම වූ වැඩසටහන් පවා විකාශය විය. පුවත්පත්, ලිපි, විශේෂාංග සහ අතිරේක පල විය. ඒ සෑම එකක් තුළම දැකගත හැකිවූයේ එක් එක් ලේකඛයාගේ ඒක එක් දේශකයාගේ අර්ථ දැක්වීම්ය.

තේමාවක් නිර්මාණය කරනුයේ සමස්ත අනුගාමිකයෝ අරමුණු කරා යොමු කරගනු පිණිසය. එහෙත් සියලු රටවැසි බෞද්ධයින් ශ්‍රී සම්බුද්ධත්ව උළෙල සමරනු ලැබුව ද ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායේ මුදුන් මල්කඩ බඳු රටක් ලෙස අපගේ මෙහෙවර පිළිබඳ සතුටුවීමට අපට හැකිද යන්න නැවත සිතා බැලිය යුත්තකි.

සමාජය ආර්ථික, දේශපාලනික, අධ්‍යාපනික මෙන්ම සංස්කෘතික වශයෙන්ද මහත් ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබෙයි. ඒ සියලු ප්‍රශ්න විසඳාලීමේ මාහැඟි ධර්ම මාර්ගය බුදු දහම තුළ අන්තර්ගතය. එහෙත් ඒ පිළිබඳව ගවේෂණය කළේ කවුරුන්ද?. ඒවා ඇසුරෙන් එකම හෝ ක්‍රමයක් සමාජ යාන්ත්‍රණයට දියත් කළේ කවුරුන්දැයි කියා විමසීම අත්‍යවශ්‍යය.

දිළිඳුභාවය, විරැකියාව, පවුල් ආරවුල්, සමාජ ප්‍රචණ්ඩත්වය, දුෂ්කර ප්‍රදේශවල පාසල් වැසීයාම, භික්‍ෂුන් වහන්සේලා විඳින අපමණ ගැටළු, දහම් පාසල් අඩුපාඩු ආදී දහසකුත් එකක් ප්‍රශ්න සමාජය තුළ දැකගත හැකිය. මේවා පදනම් කරගනිමින් විධිමත් ධර්මාවබෝධ ක්‍රමයක් ස්ථාපිත කිරීමේ මහඟු අවස්ථාව අප හමුවේ තිබුණි. එහෙත් ඉන් නිසි ප්‍රයෝජන අප ලබාගත්තාද යන්න ද විමසනු වටී.

ශ්‍රී සම්බුද්ධ ජයන්තිය උදෙසා බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් ගෙනඑන ලද කෙටුම්පත පවා බෞද්ධ වීරෝධී යෝජනා වලින් යුක්තයැයි මහ සඟ රුවනේ විරෝධයට හේතු වූ බව ද සිහි කළ යුතුය. මෙකී සියලු කාරණා මඟින් කියැවෙන්නේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා පරිපූර්ණ මහා පිංකමක් අප අතින් සිදුනොවූ බවකි.

කෙසේ වුවද ලෝකය පුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවීමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා සම්බුදු උළෙල සැමරීම අගය කළ යුත්තකි. ශ්‍රී ලංකාව මුල්කරගනිමින් ජාත්‍යන්තර මහා බෞද්ධ සම්මේලන පැවැත්වීම මෙන්ම රාජ්‍ය අනුග්‍රහයෙන් රටපුරා වෙසක් සතියක් පැවැත්වීම ද සිහිකළ යුතුය. රජමැදුරේ සිට දිළිඳු පැල දක්වාම පාට බල්බයක්, බෞද්ධ කොඩියක්, වෙසක් සැරසිල්ලක්, එළිය පෙට්ටියක් හෝ දිස්වීම ද සියලු වෙහෙර විහාරස්ථාන විසින් අසීමිත පමණින් විවිධ පිංකම්, පෙරහැර, දානමාන, දන්සැල්, සීල සමාධාන ආදිය ද පැවැත්වීම මහත්සේ අගය කළ යුතුය. දැන් යලිත් 2011 වසර දක්වා සම්බුද්ධත්ව ජයන්ති වසරක් ප්‍රකාශ කොට ඇත. උගත් පාඩම් ඇසුරෙන් මෙම වසර තුළදී හෝ බෞද්ධ ලෝකයට වැඩදායී යමක් කිරීම බෞද්ධ අප සැමට බාර කටයුත්තකි.